කන්ද උඩරට පත්තිරිප්පුව

"කන්ද උඩරට වාස්තු විද්යාවේ වටනාම කලා කෘතිය 'පත්තිරිප්පුව'.."

අනුපමේය සංස්කෘතික වටිනාකමක් ඇති සකල ලෝකවාසී බෞද්ධ ජනතාවගේ මුදුන් මල්කඩ බඳු ශ්රී දළදා මාලිගය වාස්තු විද්යාත්මක ලක්ෂණ, උඩරටටම ආවේණික වූ ලක්ෂණයන්ගෙන් මෙන්ම ඉපැරණි දළදා මාලිගා නිර්මාණ ලක්ෂණයන්ගෙන් ද අනූනය. මහනුවර ශ්රී දළදා මාලිගය මහනුවර නගරයට නැගෙනහිරින් උඩවත්ත කැළය අසල රජ මාලිගාව ආසන්නයේ ඉදිකර ඇත. උතුරු දෙසින් රජ මාලිගය පිහිටා ඇත. දකුණු දෙසින් කිරි මුහුද හෙවත් මහනුවර වැවය. බස්නාහිරින් නාථ හා පත්තිනි දේවාල පිහිටා ඇත්තේය. ජීවමාන නිර්මාණයක් බඳු වූ ශ්රී දළදා මන්දිරය රන්, රිදී, ඇත්දල, පිත්තල ආදි කැටයම් යොදා සෝභාමානවත් කොට ඇත. දුරාතීතයේ දළදා ගෙය නමින් හැදින්වූ බව පැවසෙන අතර පසුකාලයෙක රට පාලනය කල බොහෝ රජුවරුන් මෙම පරිශ්රය ආශ්රිතව රටට නායකත්වය ලබා දුන් බැවින් දළදා මාලිගාව වශයෙන් ව්යවහාර වී ඇත.

ශ්රී ලංකාවේ අවසන් රජු වන ශ්රී වික්රම රාජසිංහ රජු දවස (1798-1815) දළදා මාලිගාවට එක්වූ වඩාත් සුවිශේෂී අංගයක් වනුයේ පත්තිරිප්පුවයි. කන්ද උඩරට සෙන්කඩගල පුරවරය නයනාභිරමණීය ලෙස ගොඩනැගීමේ ගෞරවය ද ශ්රී වික්රම රාජසිංහ රජතුමා සතු වේ. ලංකේශ්වර ශ්රීමත් හෙන්රි විලියම් ග්රෙගරි මහතා සදහන් කරන අන්දමට මහනුවර දැකුම්කළු නගරයක් බවට පත් කිරීමට රජතුමා පෙළඹී ඇත්තේ එතුමාට ස්වභාවධර්මයාගේ රස විදීමේ තියුණු රසකාමී නැණැසක් තිබූ හෙයිනි. දකුණු ඉන්දියාවේ තන්ජෝරයේ නායක්කාර්වංශික රජතුමා සිරගත වී සිටියදී පවා සිය අන්තේවාසික කලාකරුවන්ගේ නිපැයුම් අගය කරමින් හා සංගීතය රස විදිමින් කාලය ගත කළ බැව් එතුමාගේ සුවදුක් විමසූ දොස්තර හෙන්රි මාර්ෂල් පවසා ඇත. මෙබදු කලා කුසලතාවයකින් පිරිපුන් රජතුමා ගෘහ නිර්මාණ ශිල්පියෙහි හා වාස්තු විද්යාවෙහි ද දස්කම් විදහා පාමින් පත්තිරිප්පුව, නුවර වැව හා නුවර වැව මැද පිහිටි කුණ්ඩශාලාව යනාදිය තැනීමෙහිලා ශිල්පීන් මෙහෙයවූහ.

උඩරට ගෘහ නිර්මාණ ශිල්පයේ විශිෂ්ටතම නිර්මාණය වන පත්තිරිප්පුව ගොඩනැගීමෙහිලා ශ්රී වික්රම රාජසිංහ රජතුමා උනන්දු වී තිබෙන්නේ ක්රි.ව. 1811 දී බව සදහන් වේ. ශ්රී වික්රම රාජසිංහ රජුට අවශ්ය වී තිබුණේ ජනතාව ඉදිරියේ පෙනී සිටීමට සහ පෙරහර නැරඹීමට අලංකාර මණ්ඩපයක් ය. රජතුමා පත්තිරිප්පුව සෑදීමට පෙර ඒ සඳහා සැලසුම් හා ආකෘති කැඳවලා තිබුණු අතර ඒ සදහා බොහෝ ශිල්පින් සැලසුම් ඉදිරිපත්කර තිබූ බව ඉතිහාසයේ සදහන් වේ. මේ අතර දෙහිගම දියවඩන නිලමේතුමාගේ අදහස කෙසෙල් පිති හා පතුරු යොදා නිර්මාණය කර රජුට ඉදිරිපත් කළ අතර එම සැලසුමට ඉතාමත් කැමැත්තක් දැක් වූ රජු ඊට අනුමැතිය දුන්බව ඉතිහාස මූලාශ්රයන්හි සදහන් වේ. මේ පිළිබද පුරාවෘත්තය හැදෑරීමේදී පැරණි වතාවත්වලට අනුව පත්තිරිප්පුව තිබිය යුතු බිම්කඩ සොයාගනු ලැබුවේ දෙහිගම දියවඩන නිලමේ විසිනි. එය සෑදීමට පෙර රජතුමා රඹ කදන් ඉරා පතුරුවලින් එහි ආකෘතියක් සාදවා ඇත.

රජු තම අදහස අනෙකුත් උඩරට ප්රධානින්ගෙන් අසා තිබු අතර ඔවුන් කිසිවකුත් එවැනි සැලසුමක් ඇති මණ්ඩපයක් තැනීම ගැන ප්රසාදය පළ කර නැත. එයට එක් හේතුවක් ලෙස සදහන් වනුයේ දෙහිගම නිලමේ රාජ ප්රසාදයට පත්වීම අනෙක් උඩරට නායකයන් නොරිස්සීම යි. සමස්ත උඩරට රාජ සභාවෙන් එයට කැමැත්ත පළ කර ඇත්තේ උනම්බුවේ රාළ නොහොත් උනාමළුවේ නිලමේතුමා පමණ ය. මේ කාරණාව නිසාවෙන් රජු පත්තිරිප්පුවේ අධීක්ෂණය උනම්බුවේ රාළට බාර කළේය. සැලැස්මට අනුව ගොඩනැඟිල්ල ඉදිකිරීමට තීරණය වූයේ, ඒ වනවිට රජ වාසල පැරණි මුළුතැන්ගෙය තිබූ තැන ය. එයට පිටුපසින් පිහිටියේ දළදා මාලිගය යි. පැරණි දළදා මාලිගයට අයත් වූ මුළුතැන් ගෙය කඩා මෙය තනා ඇත්තේ රජතුමා විසින් මහජනතාවට දළදා වහන්සේ ප්රදර්ශනය කරවීමටය. එකී සැලැස්ම සැබෑවක් බවට පත් කිරීමට තෝරා ගත්තේ ඒ වනවිටත් මහනුවර රාජධානියේ වාස්තු විද්යාත්මක නිර්මාණ කිහිපයක් ම කර සිටි උඩුනුවරහන්දෙස්ස ග්රාමයේ විසු අලකේශ්වර ඩිංගිත්තප්පු හෙවත්  ‘දේවේන්ද්ර මූලාචාරි’යි. අෂ්ඨාඝාර මණ්ඩපයක් වන පත්තිරිප්පුව ඉදිරිපිට දළදා මාලිගා සංකීර්ණයට එය යාකොට ආරක්ෂාව හා අලංකාරය පිණිස දිය අගලක් සාදවා ඒ වටා දියරුළි බැමිද ඊට උඩින් වලාකුළු බැමි ද බන්දවා ප්රතාපවත්කම ආරෝපණය කරවීය. ශ්රී වික්රම රාජසිංහ රජු දළදා පෙරහර ගමන් ගන්නා විට කරඬුවට ඉහළ උසක සිට එය නැරඹීම නුසුදුසු බවට භික්ෂූන් සහ අතර මතයක් පැතිරුණ. එම නිසා එයට පහළින් තාවකාලික පත්තිරිප්පුවක් සකස් කළ අතර එය ‘අටවන පත්තිරිප්පුව’ නම් විය..

දළදා මාලිගය වැසෙන සේ පත්තිරිප්පුව ඉදිකිරීමට උඩරට රදළ ප්රධානීන්ගේ දැඩි අප්රසාදයක් වී ඇත. පුස්සැල්ලේ ගබඩා නිලමේ ඇතුළු පිරිසක් පත්තිරිප්පුව සඳහා ගෙන ආ පරාලවල දිග අඟල් දෙක තුනකින් හොර රහසේ කපා දැමූ බව ඉතිහාසයේ සදහන් වේ. එම නිසා මූලාචාරියා සියලු පරාලවල දිග අඟල් 06ක් අඩු කර ඒ අනුව පියස්ස සැලසුම් කර තිබේ.. එහි ගරාදි වැට පිත්තලෙන් සාදා තිබිණි. සිවිලිම දැකුම්කළු චිත්රවලින් ගහණය. වහල පිත්තලෙන් සෙවිලි වී තිබුණු අතර කොත් කැරැල්ල රන් ආලේපිත විය. ගොඩනැඟිල්ලේ වහලයට අවශ්ය “නා” ලී ලබාගෙන ඇත්තේ මාතලේ නාලන්දෙන්ය. දේවේන්ද්ර මූලාචාරිට අරත්තන නාරායන ආචාරි මේ සඳහා සහාය වී ඇත. අලංකාර පත්තිරිප්පුව සාදා නිම කර ඇත්තේ ක්රි.ව. 1812 දි ය. එනම් අප රට බ්රිතාන්යයන් යටත් කර ගැනීමට වසර තුනකට පෙරය. පැරණි ගෘහ නිර්මාණ ශිල්පයට අනුකූලව සැලසුම් කළ මේ නව නිර්මාණය උනාමළුවේ නිලමේතුමාගේ මෙහෙයවීමෙන් වසර දෙකකින් නිම විය. වැඩ නිම වූ පසු අධික සතුටට පත් රජු උනම්බුවේ රාළට රන් දම්වැලක් සහ ඌව ප්රදේශයෙන් ගම්වරයක් ද රදානය කෙරෙන සන්නසක්ද පිරිනැමූහ. පත්තිරිප්පුව ගොඩනැගීම සදහා දිවා රෑ වෙහෙස වෙමින් අධික ව කටයුතු මෙහෙය වූ උනාමළුවේ මහ නිලමේ රෝගීව සිට ක්රි.ව. 1813 දී පමණ පරලෝ සැපත් විය.

ඓතිහාසික මහනුවර නගරය පිළිබද සුවිශේෂී ලාංඡනයක් ලෙස ලෝපතළ පත්තිරිප්පුවට එම නම තැබුණේ "දකින මණ්ඩපය" යන අරුත් ඇති 'පාර්තු ඉරිප්පු' (බලනවා) + (ඉඳගෙන) යන දෙමළ වදන් අනුසාරයෙනැයි සදහන් වේ. එහි අර්ථය ඉඳගෙන නරඹනවා යන්න යි. මෙම ගොඩනැගිල්ල 'අටැස් මණ්ඩපය', අෂ්ඨාඝාර මණ්ඩපය යන විවිධ නම් වලින් ද හදුන්වනු ලබයි. රජතුමා මේ වගේ ගොඩනැඟිල්ලක් ඉදි කරනු ලැබුවේ දළදා මාලිගාවේ කොටසක් ලෙස නොවන අතර එය දළදා මාලිගය මෙන් පූජනීය ස්ථානයක්ද නොවේ. එය තැනුවේ හුදෙක් රජුට වැසියන් ඉදිරියේ පෙනී සිටීම සඳහා යි. විවේකයෙන් නගරයේ සිරිය නැරඹීමටත් රජු මෙය භාවිත කර තිබේ. යුක්තිය පසිඳලීම සඳහා ද රජතුමා මෙතැනට පැමිණෙනු ඇත. රජ මාලිගාව තියෙන්නෙත් ඒ අසල ම නිසා රජතුමාට මෙතැනට පැමිණීම ලෙහෙසි විය. මහමළුවේ පවත්වන මල්ලව පොර හා කඩු සටන්, ඇත් පෙර ආදී තරග නැරඹීමට, මහමළුවේ එකතු වන ජනතාවට රජතුමා බැහැ දැකීමට අවස්ථාව ලබා දීම ආදී කාර්යන්ද පත්තිරිප්පුවෙන් ඉටු විය. විශේෂ අවස්ථාවලදී මෙහි දළදා ප්රදර්ශන ද පවත්වා ඇති බවට සාක්ෂි සාදක ඉතිහාස මුලාශයන්හී වේ. වර්තමානයේ දී ද දළදා ප්රදර්ශන පැවැත්වීමට යොදා ගනු ලබන්නේ පත්තිරිප්පුව යි. කෙසේ වුවත් උඩරට වාස්තු විද්යා ශිල්පයේ අගනා සංකේතයක් බවට පසුව පත්තිරිප්පුව පත් වුණා. අද වනවිට පත්තිරිප්පුවේ ආකෘති සහිත ගොඩනැගිලි රට පුරා විහාරස්ථානවල අපට දැකිය හැකිය.

මහනුවර තානාපති ජෝන් ඩොයිල් වරෙක සිය දිනපොතේ සදහන් කර ඇති අන්දමට මෙය තනා ඇත්තේ ක්රි.ව. 1805 ත් ක්රි.ව. 1812 ත් අතර කාලයේදීය. ක්රි.ව. 1815 ඉංග්රීසි ආක්රමණයෙන් පසු පැමිණි හමුදාවට පරසතුරු උවදුරු වැලැක්වීමේ අටියෙන් දළදා මාලිගාවත් පත්තිරිප්පුවත් වටලා ආරක්ෂිත පවුරක් තනා තිඛෙනු දැක ගත හැකි විය. නගරය අල්ලා ගත් පසු ඔවුන් දළදා මාලිගයට හා පත්තිරිප්පුවට දැඩි මුරකාවල් යෙදූහ. ආණ්ඩුකාර රොබට් බ්රවුන්රිග් පත්තිරිප්පුවේ ලැගුම් ගත්තේය. උඩරට ගිවිසුමේ 29 වැනි වගන්තිය ප්රකාර බුදු සසුන සුරැකීමට ප්රතිඥා දී ආණ්ඩුකාවරයා පත්තිරිප්පුවේ ලැගුම් ගෙන සිටීම ජනතා අප්රසාදයට හේතු වී ඇති බව ඩොයිලිට දැනගන්නට ලැබුණි. ඔහු මේ පිළිබදව ආණ්ඩුකාරවරයා දැනුවත් කොට ඉන් බැහැර කිරීමට කටයුතු සැලැස්වීය. ඊට පසු මහා සංඝයා හා ජනතාව දිනාගනු වස් පත්තිරිප්පුව දළදා සමිදුන් වෙනුවෙන් වර්ෂ 1815 මාර්තු 13 දා නැවත ප්රදානය කොට කොබ්බෑකඩුව යතිදු ප්රමුඛ මහා සංඝරත්නය වෙත මහ දනක් පිරි නැමූ බව ඉතිහාසයේ සඳහන්ය. පසු කාලීනව මෙම ගොඩනැගිල්ල රජයට අයත්ව තිබු අතර හිටපු අගමැති ඩඩ්ලි සේනානායක මහතා විසින් පසු කලෙක සන්නස පත්රයක් මගින් ශ්රී දළඳා මාලිගාවට පූජා කොට තිබේ... #IamThilanka

©️ සෙංකණ්ඩ පුර - තිලංක රත්නායක

Leave a Comment