බිසෝ උල්පැන් ගෙය.

"කන්ද උඩරට බිසෝවරුන්ගේ ශ්රී විභූතිය සිහිගන්වන බිසෝ උල්පැන් ගෙය."

අතීත රජ දවස රාජ රාජ මහාමාත්යාදීන් මහජනතාවගෙන් වෙන්ව, ඉහළ පැලැන්තියේ යැයි පෙන්වමින් සැලකුම් ලබන්නට සිය ක්රියා පිළිවෙත් සුවිශේෂී වෙනසකට ලක් කර ඇත. ඉන් එක් සුවිශේෂී අවස්ථාවක් ලෙස ස්නානය සඳහා ස්ථානයක් වෙන් කිරීම හැඳින්විය හැකි ය. මෙම සිරිත ලෝක ශිෂ්ටාචාරයේ ද දක්නට ලැබෙන්නකි. පුරාණ රෝමයෙන් එවැනි ස්නානාගාර රැසක නටබුන් හමුවී ඇත. අද නෂ්ටාවශේෂව පවතින ඒවා බොහොමයක් පුරාණ ස්වරූපය ඡායාමාත්ර වශයෙන් අවබෝධ කර ගැනීමට අපට ඉඩ ලැබේ. ශ්රී ලංකාවේ ද අනුරාධපුරයේ මඟුල් උයනේ පොකුණු ද පොලොන්නරුවේ තානායම අසල දීප උද්යානයේ නාන ගෙවල්වල නටබුන් ද අපට එහි ස්වරූපය යම් තරමකට අවබෝධ කරවයි. ඉන් පසු යුගවල නාන ගෙවල් හමුවී ඇත්තේ අවසාන සිංහල රාජධානිය වූ මහනුවර යුගයෙනි. මහනුවර නගරයේ පිහිටි රජපිහිල්ල සහ උල්පැන් ගේ එම ස්ථාන වේ.

පොදු ජනතාවගෙන් වෙන්වූ මේ නාන තටාකය පුරාණයේ හැඳින්වූයේ 'උල්පැන්ගේ' ලෙස ය. මෙහි නිවැරදි නම වන්නෙ "උල්පැන් ගෙය" යි. එමෙන්ම ජමෙහෙසියන්ගේ ස්නානාගාරය ලෙසද ඇතම් ස්ථාන වල භාවිතා කරනු ලැබේ. සෙංකඩගල රාජධානි සමයේ අන්තදීපුර බිසෝවරු ස්නානය සදහා පළමුව ගොස් ඇත්තේ ලේවැල්ල තොට වෙතය. එයට ගතවන කාලය වැඩිවන නිසාවෙන් පසුව හිරිපැන් කදුරට සකස් කරන ලද රජපිහිල්ල භාවිතා කරනු ලැබීය. එහෙත් දුනුමඩලාව වන අරණේ ඖෂධ වල මුල් සේදී ගලා එන සිහිල් දිය පිරි රජ පිහිල්ල බිසෝ වරුන්ට කන් කැක්කුම, හිස කැක්කුම් වැනි රෝගාභාද වැලදුනු හෙයින් කිරි මුහුදේ නැතිනම් නුවර වැවේ උල්පැන් ගේ නමින් ස්නානාගාරයක් සකස් කරනු ලැබීය. අතීතයේ උල්පැන්ගේ සිහිවීම පිණිස වර්තමානයේ දෑසින් දැක අවබෝධ කර ගත හැකි හොද ම ස්ථානය දළදා මාලිගාව ආසන්නයේ ඇති 'බිසෝ උල්පැන්ගේ' ය.

දේවේන්ද්ර මූලාචාර්ය ගේ නිර්මාණයක් වන බිසෝ උල්පැන් ගෙය කන්ද උඩරට අවසන් රජු වන ශ්රී වික්රමරාජසිංහ රජුගේ බිසෝවරුන්ට ස්නානය සඳහා ක්රි.ව 1806 දී ඉදිකරවන ලද්දකි. කිරි මුහුද වම් ඉවුරේ ඉදිකොට ඇති බිසෝ උල්පැන්ගෙය, තුන් පැත්තකින් වටවූ සොල්දර සහිත ගොඩනැගිල්ලක සිරි ගනී. පහළ මාලයේ වැව් දිය පිරි පොකුණක් පරිද්දෙන් නාන තටාකය තනවා තිබේ. ඉහළ මාලයේ ඇදුම් මාරු කිරීම සඳහා වූ ස්ථානයකි. උඩුමහල දැව සොල්දර තට්ටුවකි. මඟුල් මඩුවේ පියස්සට සමාන පියස්සක් ද තනවා ඇත. එයට ජලය කාන්දු වන්නෙ කිරි මුහුදේ ජල පෙරනයක් හරහාය. ගලෙන් නිමවන ලද පොකුන වටා කුලුනු හා බිත්ති වලින් ආවරනය කර තිබේ. මෙහි පාදම තුන් පැත්තකින් ජලතලයේ රැඳී ඇති නිසා ගොඩනැඟිල්ලේ බර දරාගැනීමට සුදුසු ලෙස ඉදිකර ඇත. මාලිගාවට සම්බන්ධ ගිහි නිලධාරීන්ගේ ප්රධානියා වූ දියවඩන නිලමේ උල්පැන් ගෙයි ද ප්රධානියා විය.

මෑතක දී සංස්කෘතික ත්රිකෝණ ව්යාපෘතිය යටතේ සිදු කරන ලද තහවුරු කිරීම්වලින් පැරණි ජල තටාකය අනාවරණය විය. එය අඩි 40ක පමණ දිගකින් ද අඩි 25ක පමණ පළලකින් ද අඩි 5ක පමණ ගැඹුරකින් ද යුක්ත විය. මෙහිදී බිසෝවරුන් ස්නානය කිරීම : ජල ක්රීඩා කිරීම සහ මාළුන්ට කෑම දීම ආදී කටයුතු සිදු කළ බව පැවසේ. උල්පැන්ගේ අසල සිට වැව මැද ඇති දූපත හෙවත් කුණ්ඩසාලේ වෙත කඹවලින් නිමා කළ පාලමක් විය. මේ පාලමට ගොඩවීමට තිබූ පියගැට පෙළ කිහිපයක් අදත් වැව් බැම්ම අසල ඉතිරිව ඇත.

ක්රි.ව 1815 දී ඉංග්රීසීහු උඩරට යටත් කරගත් පසු මඟුල් මඩුව, පත්තිරිප්පුව - රජ මාලිගය වැනි ඓතිහාසික ගොඩනැඟිලි ගිනි තබා විනාශ කළහ. ඒ අතරට උල්පැන්ගේ ද අයත් විය. ගිනි තැබීම නිසා දැව කොටස් සම්පූර්ණයෙන් විනාශ වී ගියේය. මුලින් තනි මහලේ ගොඩනැගිල්ලක් උවත් බ්රිතාන්යයන් විසින් මෙය දෙමහල් ගොඩනැගිල්ලල්ක් ලෙස සකස් කර ඇත. වර්ෂ 1825 දී ජෝර්ජ් ටර්නර්ගේ මූලිකත්වයෙන් නැවත සැලසුම් කොට සාදවන ලද ගොඩනැගිල්ල, වසර 1857 දී ඉංග්රීසි ජාතිකයන් විසින් ජල තටාක අත්තිවාරම පුරවා මෙය පුස්තකාලයක් ලෙස පරිහරණය කර ඇත. මෙම පුස්තකාලය එවකට පරිහරණය කර ඇත්තේ ඉංග්රීසි ජාතික ඉහළ නිලධාරීන් හා හමුදා නිලධාරින් ගේ දැනුම වර්ධනය සදහා ය. පසු කාලීනව මේ පුස්තකාලය නඩත්තු කිරීම අපහසු වූයෙන් රජයට පවරා දෙන ලදී. එහි පොත්පත් මහනුවර නාගරික පුස්තකාලයට ලබා දුනි. පසුකාලිනව නැවතත්, බිසෝ උල්පැන්ගේ ඉතිහාසය සිහි ගැන්වෙන ලෙස පෙර පරිදිම තනවා ඇත. මේ වනවිට පුරාවිද්යා ස්මාරකයක් ලෙස ප්රකාශයට පත් කොට ඇත. අදටත් අතීත ශ්රී විභූතිය සිහිගන්වන උල්පැන් ගෙය, රජුගේ අභීත රාජ තේජස විදහා පාන බව මනාව විද්යාමානවේ. #IamThilanka

©️ සෙංකණ්ඩ පුර - තිලංක රත්නායක

Leave a Comment